වසන්තයට පෙර නව කතාව 1 කොටස


මගේ මව මියයන විට මට යාන්තම් වයස අවුරුදු 10ක්වුවා පමණයි. මා කුඩා සමයේ මා නැලවූ ඇගේ රුව, තවදු මට සිහිනයෙන් පෙනේ. ඇගේ සුවද තවමත් මා අසලින් ගැවසේ. මගේ සිතට වේදනාවක් දැනුන විට මා සතු එකම වේදනා නාශකය වන්නේ ඇගේ මිහිර දැවටුනු ඈ පැලදි වස්ත්‍රයන්ය. මවගේ නික්මයාමෙන් අට වසරක ඉක්මවීමෙන් වුවද තවම මට හැගෙන්නේ මට දැනෙන්නේ මා ඇගේ තුරුලේ දැවටෙමින් නිදන බවය. නමුත් ඇය සැබැවින්ම නික්ම ගොසිනි.
.
මව මිය ගොසින් වසරක් ඉක්මවීමටත් මත්තෙන් මගේ පියා වෙනතක් බලා ගත්තේ මවගේ නික්මයාමෙන් කණකොකා හැඩලූ මගේ ලෝකය කබලින් ලිපට වට්ටවමිනි. කිසියම් හෝ වූ හේතුවක් පාදක කරගෙන මගේ සුළු මවට මා දැකීම පවා ඈ කුපිත කරවන සිදුවීමක් විය. මා මෙතරම් ඇයට අප්‍රියවූයේ ඇයිදැයි මට තේරුම් යන වයසට එලැඹි විට මට දැනුන වේදනාව වචනයට පෙරලීමට මම අපොහොසත්මි.
.
බොහෝ දිනවල රාත්‍රීකාලයේ මාගේ වරදක් සොයාගන්නා ඇය මට පහර දී නිවසේ පිලිකන්නේ රදවන්නට තරම් අකාරුණික විය. මට බියක් නැත. අම්මා මා අසලින් හිද මා ආරක්ෂා කරනු ඇත. පිලිකන්නේ නිදියන දින වල අම්මා පැමිණි මා ඇගේ ඇකයේ නිදි කර ගන්නා අයුරු මා සිහිනයෙන් දකිමි. ඈ මා අසලින් හිද මගේ හිස අතගාමින් සනසන විට සියළු වේදනාවන්ගෙන් මිදී මා ආත්මීය තෘප්තියකට එලඹෙන්නේ සියළු දුක්ක දේමනස්සයන් අතෑර දමමිනි. රාත්‍රිය පුරා කුඩම්මාගේ නපුරු මුහුණ නපුරු හඩ වෙනුවට මට ඇසෙන්නේ මගේ මවගේ සියුමැලි කරුණාබර හඩයි. එහෙයින් රාත්‍රිය එලඹෙනවාට මා ඉතා කැමතිය.
.
මගේ මව නික්මයාමෙන් පසු පාසලේදී වුවද පාරේදී වුවද මිනිසුන් මා දෙස වපර ඇහින් බලනු මා දුටුවෙමි. එතෙක් මගේ අසලින්ම රැදුනු මගේ මිතුරු මිතුරියන් මා මග හැර ගියේ බිදකුදු අනුකම්පාවක් ස්නේහයක් මා වෙත නොපෙන්වමිනි. එකියක් මා හට පවසා සිටියේ මා ඇසුරු කලතොත් ඇගේ අම්මාගෙන් ටොකු කන්නට ඈට සිදුවන වගකි. ඒ මන්ද යැයි දැනගැනීමට මට වසර 10ක්ම බලා සිටීමට සිදුවිය.
.
මගේ මා කුඩා කල හෙදියක්ව සේවය කල වග මට යාන්තමින් මතකය. ඈ සුදු ඇදුමින් සැරසී හිස පලදනාව පැලදි විට මට ඇයව පෙනුනේ දේවතාවියක් ලෙසයි. ඈ වරක් ඈ සේවය කල වාට්ටුව වෙත මා රැගෙන ගිය හැටි මට මතකය. වාට්ටු ඇදන් මත කෘෂ අර්ධයක් මිය ගොස් සිටි රෝගීන් සිටි අතර ඒ රෝගීන් දැකීමෙන් මා ඉමහත් භීතියකට පත්වුයෙමි. මා හෙද විවේකාගාරයේ නවතා අම්මා රාජකාරියට ගිය මොහොතේ මා ඈ දෙස බලා සිටියෙමි. ඈ දැක්මෙන් හිනැහෙන්නේ මා පමණක් නොවේ. ඇගේ රුව දකිත්ම වාට්ටුවේ මරණය පෙනෙන මානයේ සිටින රෝගීන් පවා ඇයට හසරැලි සංග්‍රහයක් පුද කරයි. ඒ රෝගීන් සමහරෙක්ගේ හසරැල්ලද මට පෙනුනේ හැඩුමක් ලෙසයි.
.
මගේ මවද ඒ රෝගීන් මෙන්ම ඇගේ හසරැල්ල වෙනස් කරගනු ඇතැයි මම කිසිදා නොසිතුවෙමි. නමුත්...........
.
ටිකක් වෙනස් කාලීන සිද්ධි ගණනාවක් මුල් කරගෙන ගෙතෙන කථාවක්. හිතනවාට වඩා ගොඩක් වෙනස් වෙයි. දිගටම ලියන්නද කැමති අය කියන්න.

Comments

Post a Comment